ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, March 24, 2014

අපේ හාමුදුරුවෝ..





පන්සලේ බණ මඩුව මදි වගේ දැන්        ටිකක්
මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ           නිමක්
දහම් පාසලට තව අලුත්      ගොඩනැගිල්ලලක්
ගොඩ ගැසී තව තවත් කී නොකී වැඩ  ගොඩක් 

අපේ හාමුදුරුවෝ වෙහෙසේවි නෑ          නිමක්
දුගී දායකයින්ට නෑනෙ මේ හැටි             දුකක්
මහණ කම බරපතල වැඩ සහිත හිර      ගෙයක්
බණට භාවනාවට නෑනෙ දැන්          වෙලාවක්


Thursday, February 27, 2014

දුම්රියේ විදුලි පංකාව..



උදේ සිට වෙහෙසුන, 
තෙහෙට්ටුව මැලවුන,
දහදියෙන් තෙත් උන,
කෝපයෙන් නලියන,
ප්‍රෙමයෙන් මත් උන,
ගීතයෙන් නැළවෙන,
විහිලුවෙන් හිනැහෙන,
මැදිරියේ හැමදෙන
දිහා නෙත් ඇරගෙන
නොසෙල්වී හිඳගෙන
පංකාව අසරණ...


Thursday, February 20, 2014

අවසරයි සමුගන්න..





සරසවිය තෝතැන්න
විය අපට හමුවෙන්න..


මඟසර නොම දන්න 
දිනේ සිට පියමැන්න.. 

වැටුනු විට හිනැහෙන්න 
කඳුලු පිස දිරි දුන්න.. 

එක සිතින් ලඟ උන්න 
සොඳුරු හදවත් ගොන්න.. 

අතැර පියඹා යන්න 
වාරු නෑ සමුගන්න.. 

ලඟයි හිරු බැසයන්න 
හදයි නෙතු තෙත් වෙන්න..
  
 


2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනු නෙළුම් මල බුදුසමිදුට පූජ කරල, කිරිබත් කෑල්ලක් කාල පටන් ගත්ත සරසවි ජීවිතය නිල වශයෙන් අවසන් කරපු දිනය අද. ඒ කියන්නෙ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස. 
සිව් වසරක් කිව්වට අවුරුදු 4 කුත්  මාස 7 ක් ගත කරල මතක සැමරුම් ගොඩකුත් එක්ක සොඳුරු හදවත් ගොඩකුත් එකතු කරගෙන මේ බිමෙන් බැහැල අපේම තනි තනි ලෝක හොයාගෙන යන්න කාලය ඇවිල්ල. 

තවදුරටත් මේ බිමේ ඇක දාපු, එක බත්පත කාපු, එක අඩුව කාපු, ප්ලේන්ටිය බීපු, නිදි නැතිව දින ගණන් පහන් කරපු, පිරිත් පිංකම්, පහන් පූජා, දන්සල් කරපු, ට්‍රිප් ගිය, සිංදු කියපු, නටපු,  රණ්ඩු උනු, ගහගත්තු, ලේ දහඩිය හෙලපු, කී නොකී තව බොහෝ දේ කරපු ඒ සුන්දර කාලය අතීතයට බාරදීල අවුරුදු  25 කටත් වඩා කාලයක් කන්න බොන්න දීල, හදා වඩා ගත්තු අම්මා තාත්තාට යුතුකම් ඉටු කරන්න,නිදහස් අධ්‍යාපනයෙන්  මේ තරම් දුරට ඉගෙනගන්න දීපු රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න යා යුතුයි. 
මේ කාලය තුල අපට ශිල්ප කියාදුන් ලෙන්ගතු ආචාර්‍යය මණ්ඩලයට,නන් අයුරින් සහයෝගය දුන් අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතියි..  

ඉතින් අවසරයි සරසවි මවුනි ඔබෙන් සමුගන්න මට.. 





  

Tuesday, December 31, 2013

සැරසෙමු නව වසරකට...



පරිනත වේවි අපි තව වසරකින්         හෙට
මොහොතක් අරන්, ගිය වසරේ විටින්   විට
"ලද දුක සතුට ජය පැරදුම තුලින්         මට" 
ලද හැකි ඔවා වේදැයි සිහි          කරන්නට 

ඒ හැම දෙයින් සවිමත් වී       නැගෙන්නේ 
හද තුල නැවුම් පැතුමන්         පුබුදුවන්නේ
ඒවා සපල වන්නට වැඩ             කරන්නේ
එලඹෙන වසර සුභ වෙන්නයි    පතන්නේ


උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...!

Monday, December 23, 2013

අනියම් පෙම..



අපි කලින් සිටි                   හැටී
නුඹේ ලඟ වැඳ                  වැටී
සිහිකලත් නොම                වටී
නුඹේ හද ඒ තරම්            රැවටී

තෙවැනියෙකු එක්          කලේ
මගෙන් නැති වද              පලේ
එක සිතිනි පෙර              කළේ
නුඹත් මා මෙන් තමයි     ආලේ

මා දෙතොල පෙර                විඳී
ඒ පහස අද                     නොදී
දුම් වැටිය හා                      බැදී
සිටින විට හද තියෙද     නොරිදී

හම්බකල                     මුදලින්
ගෙනා දේ                 සුළුවෙන්
උනත් අපි                    සතුටින්
කෑවෙ බිව්වේ අමතකද     දැන්

අද ගෙනත්                තනියෙන්
නුඹ විඳියි                   මත් පැන්
කුසට කෑවද                       මන්
අසන් නෑ මගෙ හදේ  ගිනි  දැන්

ඔබ මතට ලොල්            වෙලා
මා දෙවැනි තැන             වෙලා
හෙට අපට එක්              වෙලා
ඉන්න හැකිවෙද පවුල් කාලා..?


Tuesday, October 8, 2013

ඔබව අගෙයි පෙර ලෙස මට..


 


මල් පෙත්තක් ගිලිහුනාම,                
                                     මලේ අගය අඩු උනාට..
මා අතහැර දුර ගියාම,                      
                                       ඔහු හා හුරතල් උනාට..
ඔහුගෙ අතින් ගිලිහුනාම,                
                                  යන එන මං නැති උනාට..
යලි මා හා හිනැහුනාම,                   
                             ඔබව අගෙයි පෙර ලෙස මට..



Monday, August 19, 2013

මකුලුවා සහ මම..



බිත්ති පිරිසිදු කලේ          ඉඳහිට
වත්කමක් නෑ තින්ත         ගෑමට
ජයට ඉදිවුන බිත්ති          මතුපිට
ඔබේ නිවහන කැඩුනි       එදිනට

එහෙත් මම දැක ගතිමි      පසුදින
ඔබට හිමි උන අලුත්        නිවහන
යසයි හැඩතල අලුත්      කරගෙන
පෙනෙයි ඉඩකඩ තවත්   වැඩිවුන

ඔබේ දෙයකින් ඔබේ      සිතැඟින්
ඔබේ අහරද නිබඳ      ගෙනෙමින්
සරල දිවිමඟ පහසු           කරමින්
දිසෙයි නිවහන ඔබේ       අභිමන්

මට හදන්නට නොහැකි   උනමුත්
වෙහෙසිලා අමුද්‍රව්‍ය      ගෙනැවිත්
කුලිය දී එකලසක්         කෙරුවත්
ලබන මාසෙන් වේවි        සින්නත්

Related Posts Plugin for WordPress, Blogger...