ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, February 4, 2016

එපා ආලය







නෙත දොවන කඳුලට 
හද දවාලන සුසුමට 
කුමට ඇරයුම් කොට 
එපා පෙම මං බඳින්නෙමි වැට

Friday, April 17, 2015

වැඩබිම් කවි..



අඹර       අරා නැගුනත් මහ මැඳුර          තැනූ
අතර       මගයි කුඩුවේ වැඩ අපට           තැනූ
නිතර      සිහිව උවනත නුඹේ කඳුළු         ඉනූ
උගුර     සිරව නොගිලෙයි බත පතෙහි     ඇනූ


Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!




බක්මහේ තුරුගොමුත්  මල් කැකුළු       පුරෝගෙන
හෙට දිනක පල බරව හිනැහෙන්න          හිතාගෙන
සැවොම තම සිත් පුරා පැතුම් මල්          පැළඳගෙන
ජය ලබා සිනාසෙමු අවුරුද්දෙ                  උදාවෙන



ලොව පුරා වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..

Sunday, April 12, 2015

නුඹට,





නුබට      මහදම ඇතත්          පුදලා
සතුට      සැනසුම නැතිලු     ලැබිලා
ලොවට   හිනැහී කුමට          හඬලා
පෙමට     සමු දී යමුද             මිදිලා



Sunday, February 15, 2015

වල් බල්ලා..



හිමිකමක් නැති කමින්
මේ පොළොවෙ මා නමින්
ඉබාගාතේ යමින්
තැවෙමි ලද බලු කමින්

නිදන්නට වකුටු වී
බුදින්නට සතුටු වී
නොදෙන්නට සතුරු වී
මිනිස්සුන් පවිටු වී

සුවඳ අහරක දැනී
නැඟුනි කුස තුල ගිනී
කන්න පින නෑ දනී
හද නැගෙයි සෝ ගිනී

නොදැන පා එසවුනී
ගෘහණියට හසු වුනී
ගලක් අත අරගනී
පරුෂ වචනෙන් බනී

ගල් සරින් බේරිලා
ගෙවත්තෙන් නික්මිලා
මාවතට පිවිසිලා
සිටියෙ සුසුමක් හෙලා

යනෙන රථ ඉගිලිලා
වලට මං මදිවෙලා
සිටියොතින් තව වෙලා
යාවි දිවි තොර වෙලා

අතීතයේ සිට වෙලා සුමිතුරු
මිනිස්සුන් ළඟ රැඳුනි නිරතුරු
කැලෙත් දැන් නැති වෙලා ගොස් හුරු
අපිට ඇයි මේ තරම් උවදුරු


Sunday, October 19, 2014

වැන්දබු පියා..




බස් රථ වල හඬ පරයා, උදේ ඉඳන් ගී                       ගයලා
සත්සර මුව හැර දමලා, හිරු යන විට                      බැහැලා
ඉදිකඩ ළඟ නෙතු දල්වා, මා එනතුරු මඟ                 බලලා
සිටි දියණිගෙ සිත සනසා, ලමි තුරුලට ගෙන            සිබලා

දියණිගේ කුසගිනි නිවන්නට හදේ ගිනි අවුලා                    තියා
මම නුබේ පැන නොඇසෙනා මෙන් හිඳිමි තෙත්වුන නෙතු  පියා
හඬට සුවයක් නොලදහොත් අද, මහ හඬින් හෙට දින          ගයා
නුබේ කුසගිනි නිවනු කොහොමද දෙපා නැති වැන්දබු        පියා

දියණියේ ඔබ හා දොඩන්නට වදන් ඇති මුත්               සිත පුරා
හෙට දිනේ මහ මඟ ගයන්නට වදන් සුරකිමි                 රනයුරා
දුවේ උගතෙකු වෙලා මතු නුබ මගේ වෙහෙසෙහි           පලදරා
ආවොතින් ළඟ හිඳ ගයන්නම් මගේ හඬ වියැකෙන            තුරා




එක හැන්දෑවක බස් රථයකදී මට මුණගැහුණු බැරැන්ඩි හඬින් ගීතයක් ගායනා කල අබාධිත පුද්ගලයෙකු පිටුපස ඇතැයි මගේ සිතේ ගොඩ නැගුණු කතාව..

Friday, July 4, 2014

පසුව නැගුන සඳ..




මුහුණට මුහුණ හිඳ හසරැලි        සිරි වින්ඳ
සියුමැලි ඇඟිලි තුඩු මා හද           පිරිමැද්ද
කාටත් හොරෙන් මට මල් හී සර        විද්ද
මිතුරිය නුබට ලං වනු බෑ දුක           නැද්ද

හිමිකම් කියයි මලකට මා පෙර         සිටම
නුබටත් මගේ හදවත පුද දෙනු  කොහොම
දුම්රිය පලින් බැස සමුගෙන යන       විටම
නුබගේ මතක හැර යන්නට සිතුවෙ     මම

එනමුදු තවම සිහි වෙයි නුබගේ        උවන
නුබ හඬ රැගෙන එයි හමනා විට       පවන
හදවත තබා පසෙකින් මෙහෙවා      නුවන
පතනෙමි ලෙසට කිසිදා යලි හමු   නොවන

Related Posts Plugin for WordPress, Blogger...