හිමිකමක් නැති කමින්
මේ පොළොවෙ මා නමින්
ඉබාගාතේ යමින්
තැවෙමි ලද බලු කමින්
නිදන්නට වකුටු වී
බුදින්නට සතුටු වී
නොදෙන්නට සතුරු වී
මිනිස්සුන් පවිටු වී
සුවඳ අහරක දැනී
නැඟුනි කුස තුල ගිනී
කන්න පින නෑ දනී
හද නැගෙයි සෝ ගිනී
නොදැන පා එසවුනී
ගෘහණියට හසු වුනී
ගලක් අත අරගනී
පරුෂ වචනෙන් බනී
ගල් සරින් බේරිලා
ගෙවත්තෙන් නික්මිලා
මාවතට පිවිසිලා
සිටියෙ සුසුමක් හෙලා
යනෙන රථ ඉගිලිලා
වලට මං මදිවෙලා
සිටියොතින් තව වෙලා
යාවි දිවි තොර වෙලා
අතීතයේ සිට වෙලා සුමිතුරු
මිනිස්සුන් ළඟ රැඳුනි නිරතුරු
කැලෙත් දැන් නැති වෙලා ගොස් හුරු
අපිට ඇයි මේ තරම් උවදුරු