සරසවිය තෝතැන්න
විය අපට හමුවෙන්න..
මඟසර නොම දන්න
දිනේ සිට පියමැන්න..
වැටුනු විට හිනැහෙන්න
කඳුලු පිස දිරි දුන්න..
එක සිතින් ලඟ උන්න
සොඳුරු හදවත් ගොන්න..
අතැර පියඹා යන්න
වාරු නෑ සමුගන්න..
ලඟයි හිරු බැසයන්න
හදයි නෙතු තෙත් වෙන්න..
2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනු නෙළුම් මල බුදුසමිදුට පූජ කරල, කිරිබත් කෑල්ලක් කාල පටන් ගත්ත සරසවි ජීවිතය නිල වශයෙන් අවසන් කරපු දිනය අද. ඒ කියන්නෙ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස.
සිව් වසරක් කිව්වට අවුරුදු 4 කුත් මාස 7 ක් ගත කරල මතක සැමරුම් ගොඩකුත් එක්ක සොඳුරු හදවත් ගොඩකුත් එකතු කරගෙන මේ බිමෙන් බැහැල අපේම තනි තනි ලෝක හොයාගෙන යන්න කාලය ඇවිල්ල.
තවදුරටත් මේ බිමේ ඇක දාපු, එක බත්පත කාපු, එක අඩුව කාපු, ප්ලේන්ටිය බීපු, නිදි නැතිව දින ගණන් පහන් කරපු, පිරිත් පිංකම්, පහන් පූජා, දන්සල් කරපු, ට්‍රිප් ගිය, සිංදු කියපු, නටපු, රණ්ඩු උනු, ගහගත්තු, ලේ දහඩිය හෙලපු, කී නොකී තව බොහෝ දේ කරපු ඒ සුන්දර කාලය අතීතයට බාරදීල අවුරුදු 25 කටත් වඩා කාලයක් කන්න බොන්න දීල, හදා වඩා ගත්තු අම්මා තාත්තාට යුතුකම් ඉටු කරන්න,නිදහස් අධ්‍යාපනයෙන් මේ තරම් දුරට ඉගෙනගන්න දීපු රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න යා යුතුයි.
මේ කාලය තුල අපට ශිල්ප කියාදුන් ලෙන්ගතු ආචාර්‍යය මණ්ඩලයට,නන් අයුරින් සහයෝගය දුන් අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතියි..
ඉතින් අවසරයි සරසවි මවුනි ඔබෙන් සමුගන්න මට..