ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Friday, July 4, 2014

පසුව නැගුන සඳ..




මුහුණට මුහුණ හිඳ හසරැලි        සිරි වින්ඳ
සියුමැලි ඇඟිලි තුඩු මා හද           පිරිමැද්ද
කාටත් හොරෙන් මට මල් හී සර        විද්ද
මිතුරිය නුබට ලං වනු බෑ දුක           නැද්ද

හිමිකම් කියයි මලකට මා පෙර         සිටම
නුබටත් මගේ හදවත පුද දෙනු  කොහොම
දුම්රිය පලින් බැස සමුගෙන යන       විටම
නුබගේ මතක හැර යන්නට සිතුවෙ     මම

එනමුදු තවම සිහි වෙයි නුබගේ        උවන
නුබ හඬ රැගෙන එයි හමනා විට       පවන
හදවත තබා පසෙකින් මෙහෙවා      නුවන
පතනෙමි ලෙසට කිසිදා යලි හමු   නොවන

Thursday, June 19, 2014

සිංහයා හැර යයි..




දහම පොත් තුල දිරයි තැන         තැන
වියලි බෝ පත් පෙනෙයි සිව්    කොන
බොහෝ කල් සිට සිතුවෙ මේ      ගැන
අසනු සිංහල රටේ මහ                  දන

අසිපතින් ඵල ගනියි             මැරයන්
තැඹිලි,කොල හා ගැටෙයි       සිහලුන්
ස්වර්ණ සිරුරත් ලෝහිතයි          දැන්
පලක් නෑ මේ ධජයෙ             හිඳිමින්

අහින්සක දන හෙලන            සුසුමන්
පවන වී මා ගතෙහි            වෙලෙමින්
සොරුන් රජ සැප විඳියි       සතොසින්
නැඟෙනු කුමටද ඔවුන්           සුරතින්

නුබ ගැබෙහි යලි ලෙළෙන්නට       නම්
නොහැක හද නැගි සොවෙහි නැත   නිම්
පලා යමි යලි නො එන්නට              මම්
සොයාගනු නරි රජෙක් හැකි           නම්



Thursday, May 29, 2014

හෙදිය..



කෙඳිරිල්ල සුසුම් හඬ නිදි නොමැති රැයෙ       නැගෙන
හුරුපුරුදු උනත් නුඹ විමසිල්ල                   එයම ගැන
රැයේ මැදියම උවද කඩිසැර වු                    ලැසි ගමන
ප්‍රතිකාර රැගෙන නුඹ සැනින් විත්              අවැසි තැන

සීත රැය නුඹ ගෙවන සිහි නොවෙද සුව              යහන
කැප කලේ නුඹ කොහොම කැදැල්ලක මැවු      සිහින
හිමි සඳගෙ උණුසුමින් දරු පැටව් මැද              ගෙවන
නැති උනත් ඒ දිවිය හිඳියි නුඹ නම්                    තුටින

සුදු ඇඳුම හිස් වැසුම කරුණාව පිරි                    මුහුණ
තෙපලනා මුඳු වදන ගිලනුන්ට සුවය                  දෙන
හෙදිය පුන්සඳ විලස තරු පිරුන නුබ               නැගුන
පතන්නම් ඔබ නමට සියලු දෙවි                  රැකවරණ





දවසක් මම කොළඹ මහ රෝහලේ ශල්‍යකර්මයකට ලක් කරපු මගේ ලගම ඤාතියෙක් ලග රැයක් පහන් කලා.එදා වැස්ස, හරි සිතල දවසක්. ලෙඩුන්ගේ කෙදිරිලි හඩයි, සුසුම් ලෑම් හඩයි මැද්දේ නිදි කිර කිර ඉන්න මට නිතර එහෙ මෙහෙ යමින්, නිදි නොමැතිව ඒ ලෙඩුන් ගැන විපරම් කරන හෙදිය කරන කැපකිරීම  පෙනුන විදිය තමයි මේ..





ප.ලි.

  මගේ අදහස් සයිබර් අවකාශයේ ලියන්න පටන් අරන් මේ මාසයට හරියටම් අවුරුදු තැනකුත් වෙනවා. මේ ලිපියත් එක්ක එදා ඉදල ලිපි 60ක් අදහස් වල පලකරලා තියෙනවා. ඒ එදා ඉදල මගේ කවි කියවල, ඒ ගැන අදහස්  යෝජනා දක්වපු සහෘද ඔබේ දිරිමත් කිරීම නිසාමයි. ඉතින් මගේ යාළුවනේ මේ පැත්තට ඇවිත් යන ඔබ සැමට ස්තුතියි.. මින් ඉදිරියටත් ඔබ මා සමග රැදී සිටින තාක් කල් මම ලියන්නට උත්සාහ කරනවා..  
ගිය වසරේ මුලසිට මම polymer processing නමින් තවත් බොගක් ලියනවා. ඒ මා උගත් දේවල් ඇසුරෙන් බහුඅවයව සම්බන්ධව උනන්දුවක් දක්වන මිතුරන් සමග බෙදා ගන්නට. ඉතින් කැමති අය ඒ පැත්තටත් ගොඩවෙලා බලන්න. 


Saturday, May 3, 2014

ඔබට,



මෙලෝ රහක්, 
නැති උනාට..
තිබහට බොන,  
ඇල්වතුරයි.. 
කුසගින්නට, 
බත් ඇටයයි..
වගේ මාත් 
ඕනම වෙයි.. 

Friday, April 4, 2014

අවසනදී..



මුණගැහෙන්නට  තරම් 
නැතත් උන් හට    වරම් 
මුණගැහුණු අපි     තරම්
උන්ට නෑ සෝ      සුසුම්

Monday, March 24, 2014

අපේ හාමුදුරුවෝ..





පන්සලේ බණ මඩුව මදි වගේ දැන්        ටිකක්
මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ           නිමක්
දහම් පාසලට තව අලුත්      ගොඩනැගිල්ලලක්
ගොඩ ගැසී තව තවත් කී නොකී වැඩ  ගොඩක් 

අපේ හාමුදුරුවෝ වෙහෙසේවි නෑ          නිමක්
දුගී දායකයින්ට නෑනෙ මේ හැටි             දුකක්
මහණ කම බරපතල වැඩ සහිත හිර      ගෙයක්
බණට භාවනාවට නෑනෙ දැන්          වෙලාවක්


Thursday, February 27, 2014

දුම්රියේ විදුලි පංකාව..



උදේ සිට වෙහෙසුන, 
තෙහෙට්ටුව මැලවුන,
දහදියෙන් තෙත් උන,
කෝපයෙන් නලියන,
ප්‍රෙමයෙන් මත් උන,
ගීතයෙන් නැළවෙන,
විහිලුවෙන් හිනැහෙන,
මැදිරියේ හැමදෙන
දිහා නෙත් ඇරගෙන
නොසෙල්වී හිඳගෙන
පංකාව අසරණ...


Related Posts Plugin for WordPress, Blogger...